Saturday, April 23, 2016

මීයා ගේ කතාව

මේකත් තව තැනක තිබිල ගෙනාපු එකක්. :D
මගේ ඔලුවට මීයෙක් ගැන අදහසක් අවේ කොතනින්ද කියල හරියටම කියන්න අමාරුයි. මතක විදිහට ඕක ආවේ අර “හොර පූසෙක්_ _ _ _, බටු මීයෙක් ටකස් ටකස්”. ඉතින් කොහෙන් හරි ඔය අදහස ඔලුවට ආව. ඊට පස්සේ ඉතින් ඔය සිතුවිලි දාමය විකාර පාරවල් වල ගිහින් නතර වුණේ හරිම අපූරු තැනක.
මං හිතන්නේ ඔය ගොඩක් අය අහල ඇති  ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල කතාවක්. මේක ගැන ප්‍රශ්නයක් තිබිල තියෙනවා අපේ රටේ හිටිය ප්‍රසිද්ද හිමිවරුන් දෙනමක් වන වීදාගම මෛත්‍රී හිමියන් සහ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතර. රාහුල හාමුදුරුවෝ කියන්නේ වීදාගම හිමියන්ගේ ගෝල හිමි නමක්. කොහොම හරි කතාව මේකයි. වීදාගම හිමියෝ පූසෙකුට පුරුදු කරලා තියනවා පහන අල්ලන්න. ඒ කිව්වේ තමන් වැඩක් කරන කොට පූසා ඉතින් පහන අල්ලගෙන ඉන්නවා. ඉතින් වීදාගම හාමුදුරුවෝ කිව්වලු ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල. මේක දැකපු ගෝල රාහුල හාමුදුරුවෝ දවසක් ගුරු හිමියන් ගේ කුටියට යනකොට මීයෙක් ව අරන් ගිහින් ඇත හැරියලු. පූසා මීයෙක් ව දැක්කම කරන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. ඌ පහන පැත්තක ට දාල මීය පස්සේ පන්නගෙන ගියාලු. කොහොම හරි ඉතින් රාහුල හිමියෝ ඔප්පු කළා ලු ජන්මේ ලොකුයි කියල.
ඕක ඉතින් පොත් පත් වලත් සඳහන් වෙනවා. දැන් මට ඇතිවිච්ච ප්‍රශ්නෙ තමයි ඔය කියන මීයට මොකද වුනේ කියන එක. ඌ පූසට අහුවුනාද? නැත්නම් පණ බේරාගෙන පැනගත්තද ? කියල කව්රුවත් දන්නෙ නෑ. ඇත්තටම කියනවා නම් ඒ මීය ගැන ඊට පස්සේ පොත්පත් වල සඳහනක් නෑ.ඔව් ඉතින් එකෙ පුදුමෙකුත් නෑ. කව්ද මීයෙක් ගැන හිතන්නේ. කොහොම හරි අර මීය නො සෑහෙන්න පින් කරලා තියෙන්න ඇති ඔය තරම් වත් කතාවට ඇතුලත් වෙන්න. “කොහොම හරි කමක් නෑ නියමයි මීයෝ උඹ ඉතිහාස ගත උනානේ, පූසට අහුවෙලා මැරුණත් මොකෝ”
(දැන් ඉතින් උඹල පූසා ගැන අහන්න එපා. උටත් ඔය ටිකම තමයි. හැබැයි ඉතින් ඌ මීයගෙන් මැරුම් කන්න නම් නැතුව ඇති)
ඉතින් අපි හැමෝම එක එක විදිහට ජීවත් වෙනවා. මැරිලා යනවා. සමහරු ඉතිහාස ගතවෙනවා. ගොඩක් අය අර මීය තරම් වත් ඉතිහාසෙට එක් වෙන්නේ නෑ. ඒක ඉතින් අපේ වැරද්දක් නෙවෙයි. හැමෝටම ඉතිහාස ගත වෙන්න බෑ නේ.
හරි ඉතින් එච්චරයි. ඔබ සැම මෙය කියවා තම තම නැණ පමණින් කැමති කැමති දෙයක් සිතාගන්න. කියවූ ඔබ සැමට පිං෴

No comments:

Post a Comment