Showing posts with label සිංහල. Show all posts
Showing posts with label සිංහල. Show all posts

Saturday, April 23, 2016

මීයා ගේ කතාව

මේකත් තව තැනක තිබිල ගෙනාපු එකක්. :D
මගේ ඔලුවට මීයෙක් ගැන අදහසක් අවේ කොතනින්ද කියල හරියටම කියන්න අමාරුයි. මතක විදිහට ඕක ආවේ අර “හොර පූසෙක්_ _ _ _, බටු මීයෙක් ටකස් ටකස්”. ඉතින් කොහෙන් හරි ඔය අදහස ඔලුවට ආව. ඊට පස්සේ ඉතින් ඔය සිතුවිලි දාමය විකාර පාරවල් වල ගිහින් නතර වුණේ හරිම අපූරු තැනක.
මං හිතන්නේ ඔය ගොඩක් අය අහල ඇති  ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල කතාවක්. මේක ගැන ප්‍රශ්නයක් තිබිල තියෙනවා අපේ රටේ හිටිය ප්‍රසිද්ද හිමිවරුන් දෙනමක් වන වීදාගම මෛත්‍රී හිමියන් සහ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් අතර. රාහුල හාමුදුරුවෝ කියන්නේ වීදාගම හිමියන්ගේ ගෝල හිමි නමක්. කොහොම හරි කතාව මේකයි. වීදාගම හිමියෝ පූසෙකුට පුරුදු කරලා තියනවා පහන අල්ලන්න. ඒ කිව්වේ තමන් වැඩක් කරන කොට පූසා ඉතින් පහන අල්ලගෙන ඉන්නවා. ඉතින් වීදාගම හාමුදුරුවෝ කිව්වලු ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියල. මේක දැකපු ගෝල රාහුල හාමුදුරුවෝ දවසක් ගුරු හිමියන් ගේ කුටියට යනකොට මීයෙක් ව අරන් ගිහින් ඇත හැරියලු. පූසා මීයෙක් ව දැක්කම කරන දේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. ඌ පහන පැත්තක ට දාල මීය පස්සේ පන්නගෙන ගියාලු. කොහොම හරි ඉතින් රාහුල හිමියෝ ඔප්පු කළා ලු ජන්මේ ලොකුයි කියල.
ඕක ඉතින් පොත් පත් වලත් සඳහන් වෙනවා. දැන් මට ඇතිවිච්ච ප්‍රශ්නෙ තමයි ඔය කියන මීයට මොකද වුනේ කියන එක. ඌ පූසට අහුවුනාද? නැත්නම් පණ බේරාගෙන පැනගත්තද ? කියල කව්රුවත් දන්නෙ නෑ. ඇත්තටම කියනවා නම් ඒ මීය ගැන ඊට පස්සේ පොත්පත් වල සඳහනක් නෑ.ඔව් ඉතින් එකෙ පුදුමෙකුත් නෑ. කව්ද මීයෙක් ගැන හිතන්නේ. කොහොම හරි අර මීය නො සෑහෙන්න පින් කරලා තියෙන්න ඇති ඔය තරම් වත් කතාවට ඇතුලත් වෙන්න. “කොහොම හරි කමක් නෑ නියමයි මීයෝ උඹ ඉතිහාස ගත උනානේ, පූසට අහුවෙලා මැරුණත් මොකෝ”
(දැන් ඉතින් උඹල පූසා ගැන අහන්න එපා. උටත් ඔය ටිකම තමයි. හැබැයි ඉතින් ඌ මීයගෙන් මැරුම් කන්න නම් නැතුව ඇති)
ඉතින් අපි හැමෝම එක එක විදිහට ජීවත් වෙනවා. මැරිලා යනවා. සමහරු ඉතිහාස ගතවෙනවා. ගොඩක් අය අර මීය තරම් වත් ඉතිහාසෙට එක් වෙන්නේ නෑ. ඒක ඉතින් අපේ වැරද්දක් නෙවෙයි. හැමෝටම ඉතිහාස ගත වෙන්න බෑ නේ.
හරි ඉතින් එච්චරයි. ඔබ සැම මෙය කියවා තම තම නැණ පමණින් කැමති කැමති දෙයක් සිතාගන්න. කියවූ ඔබ සැමට පිං෴

මුදිතා

මේක සෑහෙන කාලෙකට ඉස්සර ලියපු පොස්ට් එකක්. වෙන බ්ලොග් එකක තිබුනේ. තැන තැන තියල බෑ කියල තේරිලා දැන් ඔක්කොම එකකට ගෙනාව. ඉතින් මේ පොස්ට් එකටත් අලුත් නවාතැනක්.. ;)
බුද්ධාගමේ කියවෙන සතර බ්‍රහ්ම විවරණ වලින් එකක් තමයි මුදිතාව. මං මෙච්චරකල් අඩුවෙන්ම තේරුම් අරන් තිබුනේ ඕක.
මෙත්තා කරුණා උපේක්ෂා ගැන නිතරම කතාකරන සමාජය මුදිතාවට දෙන්නෙ කුඩම්මාගේ සැලකිල්ල කියලයි මට හිතෙන්නේ. කොහොම උනත් දැන් අපේ අයට අඩුවෙන්ම තියෙන දෙයක් තමයි ඕක.
ඔක්කොටොම කලින් බලමු මොකද්ද මේ මුදිතාව කියන්නේ කියල.
මං දන්නා විදිහට නම් “වෙන කෙනෙක් ගේ සාර්ථකත්වයක් දැකල සතුටු වෙන එක” වගේ දෙයක්. හැබැයි මෙතන වැදගත් ම දේ තමා තමන් ඒකට අයිතියක් කියන්නෙ නැතුව සරල වචනයෙන් කියනවනම් “පැත්තක ඉඳන්” සතුටු වෙන එක තමා ඔය කියන්නෙ. ජීවිතේ ට දන්නෙ නැති කෙනෙක්ට උනත් හරියනවා දැකල සතුටු වෙන එක තමා මුදිතාව කියන්නෙ.
අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. වර්තමාන සමාජයේ ගොඩක් දෙනෙක් ට ඔය කියන ගුණය නැහැ. දෙමව්පියෝ ළමයින් ගේ සාර්ථකත්වය දැකල සතුටු වෙන එක ඕකට අයිති වෙන්න විදිහක් නෑ මට තේරෙන විදිහට. මොකද ඒගොල්ලෝ වෙන ළමයෙක්ගෙ සාර්ථකත්වය දැකල එහෙම සතුටු වෙන්නෙ නැති නිසා. හැබැයි සමහර දෙමව්පියොත් ඉන්නවා එහෙම.
කොහොම හරි. ඕක තමයි කියන්න තියෙන්නේ. බුදු දහම කියන්නේ මගේ මගේ කියල ගොඩ ගහගන්න කියල දෙන ආගමක් නෙවෙයි. ගොඩ ගහන එකේ නිසරු බව කියල දෙන ආගමක්. තන්හාව කියන දේ පොඩ්ඩක් වත් තියාගන්න එපා කියල තමා කියන්නේ. එතකොට ජීවිතේ සතුටින් ගෙවන්න ලෙහෙසියි. තව කෙනෙක් ට හරි යනවා දැකල සතුටු වෙන්න පුළුවන් එතකොට ලෙහෙසියෙන් ම. ඉතින් සතුටු වෙන්න. මැරෙනකන් සතුටින් ජීවත් වෙලා, පොළවට පස් වෙලා යන්න.

Sunday, April 3, 2016

අපේ උන්

උන් හැදුනේ අපෙන්
හුස්ම ගත්තෙ
අපි හදපු වාතය
කෑවෙ අපි හදපු කෑම
හිටියේ අපේ සෙවනේ
පස්සෙ ගෙවල් හැදුවෙත් අපිවම කපල,
ඒ මොනවට වත්
අපේ තරහක් නෑ
එත් මතක තියාගනින් පුතෝ..
උඹල තාමත් කන්නේ අපි හදන කෑම
හුස්ම ගන්නේ අපි හදන වාතය